සුභ අලුත් අවුරුද්දක් වේවා !

අප පසු කළ සියලු අවුරුදුවලට වඩා එළඹුණ වසර අප සැමටම අභියෝගාත්මක වන බව ස්ථීරය. වැඩිවන බදු බර හරහා වැඩිවන ජීවන වියදම දරාගන්නට අප සැමටම සිදු වනු ඇත. වියදමට සාපේක්ෂව ආදායම වැඩි කර ගැනීමේ අවස්ථා අවම වන නිසා බහුතර ජනතාවට තමන්ගේ වි

අප පසු කළ සියලු අවුරුදුවලට වඩා එළඹුණ වසර අප සැමටම අභියෝගාත්මක වන බව ස්ථීරය. වැඩිවන බදු බර හරහා වැඩිවන ජීවන වියදම දරාගන්නට අප සැමටම සිදු වනු ඇත. වියදමට සාපේක්ෂව ආදායම වැඩි කර ගැනීමේ අවස්ථා අවම වන නිසා බහුතර ජනතාවට තමන්ගේ වියදම් තව තවත් කපා හැරීමට සිදුවනු ඇත. දශක ගණනක දූෂණය, නාස්තිය සහ අකාර්යක්ෂමතාවයේ පාපය පාලකයා විසින් ජනතාව මත තව තවත් පටවමින් සිටී.

මේ වන විටත් මැතිවරණ අතුරුදහන් කර ඇති දේශපාලන පරිසරයක මේ වසර මැතිවණ වසරක් වෙතැයි බොහෝ දෙනෙක් විශ්වාස කරයි. එහෙත් අපගේ කියවීම නම් මැතිවරණ නොපවත්වා ඉදිරියට යාමට මේ පාලකයන් උත්සහ දරනු ඇති බවයි. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම උදෙසා ජනතාව මැදිහත් විය යුතු දේශපාලන පරිසරයක් ගොඩ නැගී තිබේ.

සුභ පැතුම්වලින් පමණක් ඕනෑම ඉදිරියක් සුභ වන්නේද නැත. කටුක තිත්ත ඇත්ත සමඟ අප ඉදිරියට යා යුතුය. නමුත් අපගේ අනාගතයම වඩාත් යහපත් කරගැනීම සඳහා මිනිසුන් හැටියට කළ යුතු බොහෝ දේ මෙම වසරේදී කරන්නට තිබේ. එම කාර්ය හරියට කරන්නට රටේ ජනතාව සමත් වූයේ නම් දශක හතරහමාරක දේශපාලන කොඩිවිනය කපන්නට අපට හැකි වනු ඇත. ඒ සඳහා මැතිවරණ පැවැත්වීම හෝ නොපැවැත්වීම අදාල නොවේ.

බදු බර මතින් තව තවත් වැඩිවන ජීවන බර නිසාත්, තවත් බොහෝ පීඩන නිසාත්, නැවත මහජන අරගලයකට පරිසරයක්ද ගොඩනැගෙමින් ඇත. මැතිවරණ නොපැවැත්වුවහොත් එයද මහජන නැගිටීම වඩාත් උත්සන්න කරනු ඇත. උගත් පාඩම් මතින් ජනතාව එවැනි අවස්ථාවක් කළමනාකරණය කර ගන්නේ නම් එයද මේ දේශපාලන ශාපයෙන් ගැලවීමේ මාර්ගයකි.

කෙසේ උවද පුරවැසියන් ලෙස ඔබගේ ශක්තිය වටහා ගන්නා ලෙසත්, එය නිසි ලෙස නිසි තැන්හීදී භාවිතා කරන්නට පසුබට නොවන ලෙසත්, දේශපාලන ව්‍යාපරයක් ලෙස අපද ඔබ සමඟ සිටින බවත් අප ඔබට දෙන පණිවිඩයයි.

එමෙන්ම මේ වසර මුලු අනාගතයම වෙනස් කරන වසරක් කරගන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා යැයි අපි ප්‍රාර්ථනා කරන්නෙමු! ඔබ ප්‍රාර්ථනා කරන ලෝකය අනාගතය ඔබේ මැදිහත් වීම තුළින්ම ලබාගත හැකි බවත් අප ඔබට අවධාරණය කරන්නෙමු.

සුභ අලුත් අවුරුද්දක් වේවා !
ජය වේවා !