පරපුරක බලය මහ ලේකම්ගෙන් ගෝඨාභයට ලිපියක්.

වාහන ගෙන්වීම නවත්වන්න බැරි නීතිමය ගැටළුවක් තියෙනවනම් මෙන්න විසඳුම. ඒවා ගෙන්වා අලෙවි කරමු! රජයට ආදායමක් ගමු !
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යැවූ ලිපිය පහතින් දැක්වේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා,
ජනාධිපති,
ජනාධිපති ලේකම් කාර්යාලය,
ගාලු මුවදොර, කොළඹ 01
2021.06.11

ජනාධිපතිතුමනි,

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා අධි සුඛෝපභෝගී වාහන ගෙන්වීමේ ගැටළුව සම්බන්ධව යෝජනාවක්.

ඉතා දරුණු ලෝක වසංගත තත්වයක් යටතේ මේ රටේ ජනතාව ඉතාමත් අන්ත අසරණ තත්වයකට පත්වී සිටින බව මතක් කරමි. එවැනි තත්වයක් යටතේ මන්ත්‍රීවරුන් සඳහා කෝටි ගණන් වටිනා අධි සුඛෝපභෝගී වාහන ගෙන්වීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළ බවද, එයට එරෙහිව නැගී ආ ජනතා අප්‍රසාදය සහ විරෝධය මත එය කල් දැමීමට තීරණය කළ බවද මතක් කරමි. නමුදු ඒ සඳහා මේ වන විට ණයවර ලිපි පවා ලංකා බැංකුව විසින් විවෘත කර ඇති නිසා එම වාහන ගෙන්වීමේ ක්‍රියාවලිය නැවැත්විය නොහැකි බවත් එසේ උවහොත් ලංකා බැංකුව අසාදු ලේඛනයට යාමේ අවධානමක් ඇති බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසා ඇත.

මේ ගැටළුව සම්බන්ධයෙන් අප යෝජනාවක් ඉදිරිපත් කරන්නෙමු. මෙම වාහන ගෙන්වීම නැවැත්වීමට එසේ බරපතල නීතිමය බාධාවක් පවතින්නේ නම් එම වාහන ගෙන්වා මෙරටේදී එවා විකුණා රජයට ආදායම් ලබාගත හැක. සම්මත බදුද ඇතුළත් කර ඒවා අළෙවි කිරීමෙන් රජයට වාහන ගෙන්වූ වියදමද බදු ආදායමද ලබා ගැනීමට හැකියාව ඇත. එමගින් රටේ සමස්ථ ජනතාව මහා ව්‍යසනයක පසුවෙද්දි මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීමේ අශිෂ්ඨ ක්‍රියාව හේතුකොටගෙන ආණ්ඩුවට එල්ළවන චෝදනාවෙන්ද නිදහස් විය හැක.

අප තවමත් විශ්වාස කරන්නේ කැබිනට් යෝජනාවත්, ණයවර ලිපි නිකුත් කිරීමත් සිදුකර පසුව අගමැති විසින් එම යෝජනාව කල් දැමීමත්, ණයවර යෝජනාව ඉදිරියට දමා වාහන කෙසේ හෝ ගෙන්වා ගැනීමත් ආණ්ඩුවේ කූට උපාය මාර්ගයක් ලෙසිනි. එය ජනතා පිළිකුල සහ විරෝධය යම් පමණකට සමනය කර ගැනීමට තාක්ෂණික සහ නීතිමය කරුණක් පෙන්වා කළ උප්පරවැට්ටියක් ලෙස බැලූ බැල්මට පෙන්නුම් කරයි. නමුත් ණයවර නිකුත් කිරීම නිසා වාහන ගෙන්වීමට සිදුවන්නේ නම් ඒවා ගෙන්වා අදාල බදු සහිතව එම වාහන විකිණීමෙන් ගැටළු ගණනාවකට විසඳුම් ලැබෙනු ඇත.
ස්තූතියි
මෙයට විශ්වාසි
චාමර නාකන්දල
පරපුරක බලය – ලේකම්
පිටපත් – අගමැති – මහින්ද රාජපක්ෂ මහතා
ලේකම් – මුදල් අමාත්‍යංශය