ස්ථාවර ගමන් මගක 6 වෙනි සංවත්සරය

හරියටම අදින් වසර 6කට පෙර අප අපේ ගමන ආරම්භ කළෙමු. ඒ 2015 නොවැම්බර් 01 වන දිනය. මාස 6කට වැඩි කාලයක් පුරා කරන ලද සාකච්ඡා හා සංවාද අපේ ගමනෙහි ආරම්භයට පදනම විය.

1948 සිට මේ රට පාලනය කල සියළු දේශපාලන පක්ෂ සහ එයට අනුබද්ධ සංවිධාන සහ කණ්ඩායම් මේ රටේ විනාශයට වගකිව යුතු බවත්, අප දේශය ගොඩගෙන ගොඩනගා ගත හැක්කේ මේ සියල්ලන්ටම එපිටින් නිර්මාණය කරන නව දේශපාලන බලවේගයකින් බවත්, එම දේශපාලන බලවේගය මෙතෙක් සක්‍රීයව දේශපාලනය නොකළ පුරවැසියන්ගෙන් සමන්විත විය යුතු බවත් අප එදා ප්‍රකාශ කළෙමු.

අප එදා කළ එකී විග්‍රහය මතුපිටින් කියවාගත් බොහෝ කණ්ඩායම් අතින් එය අවභාවිතයට ලක්විය. දේශපාලනය නොකියවා ගැනීමත්, හදිසියත් සහ බල කෑදරකමත් යන හේතු අඩු වැඩි වශයෙන් බලපාමින් විකල්ප දේශපාලන කණ්ඩායම් 2019 වනවිට සුනු විසුනුව යද්දි අප ප්‍රවේසමෙන් සහ ඉවසීමෙන් අපේ ගමන නොනැවති ආවෙමු.

2020 දී මැතිවරණ කොමිසම විසින් අපගේ ප්‍රජාතන්ත්‍රීය අවකාශය අහිමි නොකරන්නට අපේ ගමන අවසාන වසර එකහමාර තුළ මෙයට වඩා වෙනස් ලෙස ගෙනයන්නට අප සැලසුම් කර තිබිණ. නමුදු කුමන අකුල් හෙලීමකින් හෝ අපව නැවැත්විය නොහැකි බව අප ඉතිහාසයට එක් කර අවසානය.

අදින් පටන් ගන්නේ තවත් යුගයකි. යුග පෙරළියක නව යුගයකි. මෙතෙක් අපගේ ගමනට සහය දැක්වූ සාමාජිකයන්ට, මාධ්‍ය හිතවතුන්ට සහ පුරවැසියන්ට අපගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන්නෙමු. අප තවමත් විශ්වාස කරන්නේ අපගේ දේශය නැවත ගොඩගත හැකි බවයි. අප මතෘභූමිය වෙනස් කළ හැකි බවයි. ඒ සඳහා වන පරපුරක කැප කිරීමට අප සූදානම්ය. ඔබට ආරාධනා කරන්නේ අප සමඟ එක් වන ලෙසයි.
ජය !

පරපුරක බලය වෙනුවෙන්
චාමර නාකන්දල – මහ ලේකම්