සමස්ත ජාතියටම විවෘත සන්දේශයක්

පරපුරක බලය සහ තවත් සංවිධාන ගණනාවක්, සමාජ ක්‍රියාකාරීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ හිටපු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සමග ගොඩනගන ලද ‘ප්‍රතිශක්ති පවුර’ නම් වූ සංවිධානය විසින් සකස් කරන ලද සංදේශයක් ජනගත කිරීමට තීරණය කළ අතර, එම සංදේශය පහත දැක්වේ.

පවතින වසංගත තත්ත්වය සහ එයට මුහුණදීම වෙනුවෙන් යෝජනා ගණනාවක් එහි ඇතුළත් වේ.

ගරුතර සංඝරත්නයට,
පියතුමන්ලාට,
කුරුක්කල් තුමන්ලාට,
මවුලවිවරුන්ට,
අන්‍යාගමික පූජකයන් වහන්සේලාට,
මහජනතාවට,
ආණ්ඩු පක්ෂයේ සියලු දෙනාට,
විපක්ෂයේ සියලු දෙනාට,
සියලුම මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ට.
සමස්ත ජාතියටම විවෘත සන්දේශයක්
(2021 සැප්තැම්බර් සන්දේශය )
ලෝකය පුරා පැතිරී තිබෙන හෝ පතුරවා තිබෙන බවට අනුමාන කරන මෙම කොරෝනා වසංගතයට අපට එක්ව මුහුණ දිය හැකි බව අප විශ්වාස කරන්නෙමු. දේශපාලන බල අරගල, කූට ලෙස ව්‍යාපාරික ලාභ ලැබීම සඳහා මෙම වසංගත තත්වය භාවිතා කිරීම ශිෂ්ට සම්පන්න නොවේ. මිනිසුන්ට නායකත්වය දෙන සියලු දෙනා ආදර්ශමත්ව සහ වගකීමෙන් මේ වසංගත තත්වය හමුවේ ක්‍රියා කළ යුතුය.
එක් මිනිසෙකුගේ පවා ජීවිතයක වටිනාකම මිල කළ නොහැක. රටක ජනතාවගේ ජීවිත වෙනුවෙන් මේ වෙනස සිදු කිරීමට සියලු බලධාරීන් අපොහොසත් වුවහොත් හානි වන වටිනා ජීවිත පිළිබඳව අනාගතයේ චෝදනා එල්ල වනු නොඅනුමානය. එය ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ නායකයන්ටද එක සේ බලපානු ඇත. එපමණකින් නොනැවතී මේ සමාජයේ සියල්ලෝ මේ වෙනුවෙන් යම් යම් ප්‍රමාණයෙන් වගකිව යුතුය. එම වගකීම වෙනුවෙන් අපි මෙම විවෘත සන්දේශය ජාතියට යොමු කරන්නෙමු.
මේ වනවිට මුලු රටම වෙලාගෙන ඇති වසංගත තත්වය පිළිබඳව දැනටමත් ඔබ අප සියලු දෙනා දන්නා කරුණු කීපයක් පිළිබඳව පළමුව අවධානය යොමු කරන්නෙමු.
01 – මේ වසංගත තත්වයට මුහුණ දීමට ලෝකයේ මෙතෙක් ගත් කිසිඳු ක්‍රියාමාර්ගය අප බලාපොරොත්තු වූ මට්ටමේ සාර්ථකත්වයක් අත් වී නැති අතර ලෝකයේ කිසිදු රටක් සම්පූර්ණයෙන්ම මෙම වසංගත තත්වය ජය ගෙන නොමැති බව.
02 – දැනට ලබා දෙන එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි ප්‍රතිකාරයක් ලෙස පමණක් නිර්දේශ කළ ද, එයින් අපේක්ෂා කළ ප්‍රතිඵල අත් වී ද යන්න සමාජය තුළ තවමත් ප්‍රශ්නාර්තයක් ව පැවතීම.
03 – ආනයනික ඖෂධ සඳහා රසායනික සහ සායනික පර්යේෂණ සිදු කිරීමට ප්‍රමාණවත් ජාතික ක්‍රමවේදයක් ස්ථාපනය කර නොමැති බව.
04 – දැනට සිදුකර ඇති ප්‍රතිදේහ පරික්ෂාව ඇතුළු අනෙකුත් පර්යේෂණ එන්නතක ශක්‍යතාවය තීරණය කිරීමට ප්‍රමාණවත් විද්‍යානුකූල ප්‍රමිතියක් ඇති ක්‍රමවේදයක් නොවීම.
05 – විකල්ප බහු ක්‍රමවේ දී ප්‍රවේශයක් (බටහිර, ආයුර්වේද, හෙළ වෙදකම සහ සියලු වෛද්‍ය විධික්‍රම සහිත) මගින් වසංගතය දුරලීමට විධිමත් යන්ත්‍රණයක් හෝ ක්‍රමවේදයක් විධිමත් ලෙස සකසා නැති බව.
06 – රජය විසින් ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන පිළිබඳව ජනතාව සහ සෞඛ්‍ය සේවය තුළ ද පරස්පරතා මතු වීම හරහා වසංගතය මැඩලීමේ ක්‍රියාවලියට අහිතකර ලෙස බලපෑම.
07 – නිරෝධායන නීති ප්‍රභූන්, දේශපාලන පක්ෂ, කණ්ඩායම් සහ වෘත්තීය සමිති විටින් විට ප්‍රසිද්ධියේ කඩා දැමීම මත ජනතාවද එම නීති අනුගමනය නොකිරීම.
08 වසංගතය මෙරටට පැමිණීම ආරම්භයේ සිටම සම්පත් කළමනාකරණය පිළිබඳව ප්‍රමාණවත් විද්‍යාත්මක විශ්ලේෂණයක් නොවීම හේතුවෙන් වසංගත තත්වය උග්‍ර අතට හැර වූ අතර එහි උපරිම අවස්ථාවේ දී බරපතල සම්පත් අර්බුදයක් නිර්මාණය වීම.
ඉහත කරුණු මත පදනම් වූ පහත සඳහන් යෝජනා වෙත ඔබේ අවධානය යොමු කරන මෙන් දන්වමු ..
01 – ආනයනික ඖෂධ සඳහා රසායනික සහ සායනික පර්යේෂණ සිදු කිරීමට ජාතික ක්‍රමවේදයක් සහ විකල්ප දේශීය වෛද්‍ය ක්‍රම සොයා ගැනීම සහ අත්හදා බැලීම සඳහා විධිමත් යන්ත්‍රණයක් හෝ ක්‍රමවේදයක් ගොඩනැගීමට යෝජනා කරන්නෙමු.
02 – බහු ක්‍රමවේදී ප්‍රවේශයක් ( Multi Methodological Approach ) මඟින් විසඳුමක් ලබා ගැනීමේ සැලැස්මක්
වඩාත් ප්‍රායෝගිකව මෙම වසංගත තත්ත්වය නිමාකර ගැනීමට නම්, බටහිර, ආයුර්වේද, හෙල වෙදකම සහ සියලු වෛද්‍ය විධික්‍රම (All Medical Procedures) ක්ෂේත්‍ර පක්ෂ ජාතිත්වයෙන් බැහැරව සාමුහිකව ක්‍රියා කළ හැකි සැලැස්මක් ගොඩනැගීමට යෝජනා කරන්නෙමු.
දැනට ලබාදෙන එන්නතෙන් ලබා ගත නොහැකි වු වසංගතය පාලනය කර ගැනීම සඳහා විකල්පීය ක්‍රම ඒ තුළින් සොයාගත හැකි වනු ඇත.
03 – ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි ප්‍රතිකාරයක් යටතේ වැඩිහිටියන්ට පමණක් නිර්දේශ කළ තවමත් පිළිගත් නිශ්චිත ක්‍රියාවලියක් යටතේ පරීක්ෂණයට බඳුන් නොවූ එන්නත නිසි පර්යේෂණ ක්‍රියාවලියට යොමු කිරීමට පෙර අවුරුදු 18 ට අඩු දරුවන්ට ලබා දීම පිළිබඳව තවමත් විවාදාත්මක තත්ත්වයක පවතින නිසා නොකරන ලෙස ඉල්ලා සිටින්නෙමු.
04 – නිරෝධායන නීති රැකීම සම්බන්ධයෙන් ජනාධිපති, අගමැති, විපක්ෂ නායක, ඇමතිවරු, මන්ත්‍රීවරු, ව්‍යාපාරිකයන් සහ ප්‍රභූවරුන් ලෙස පෙනී සිටින අයත් ආදර්ශමත් ලෙස ක්‍රියා කළයුතු බවට යෝජනා කරන්නෙමු.
එම ආදර්ශය ජනතාවගේ හැසිරීම සහ විනය කෙරේ යහපත් අන්දමට බලපානු ඇති බවට අප පෙන්වා දෙන්නට කැමැත්තෙමු. ඒ තුළින් වසංගතය පාලනය කර ගැනීමට මීට වඩා බැරෑරුම්ව කල්පනා කරන්නට සහ වගකීමෙන් ක්‍රියා කරන්නට ජනතාව තුළ පෙළඹවීමක් ඇති කරනු ඇත.
05 වැරදි සංඛ්‍යාලේඛන විසින් ගොඩනගන අවිශ්වාසය වසංගතයේ පැතිරීම පිළිබඳව දුර්මත ඇති කරයි. ජනතාවට තමන් සිටින අවදානම පිළිබඳව අවබෝධය නැති කරයි. ඒ නිසා නිවැරදි සංඛ්‍යාලේඛන ප්‍රසිද්ධ කිරීමට වගවෙන ලෙස රජයට යෝජනා කරන්නෙමු. මෙම අභියෝගය ජය ගැනීමට නම් ජනතාව සත්‍යය දැනගත යුතුය.
06 පවතින ආර්ථික තත්වය සහ සම්පත් හිඟය මත වසංගතයේ අනාගත අර්බුද ජය ගැනීම සඳහා කමිටුවක් පත් කිරීමට යෝජනා කරන්නෙමු.
ඉහත අප කළ යෝජනා මේ මොහොතේ අපගේ ජාතික වගකීම බව පෙන්වා දෙන්නට කැමැත්තෙමු. තොරතුරු නිරීක්ෂණය, පරීක්ෂණය සහ විශ්ලේෂණය මගින් වඩාත් තහවුරු කරගත් මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමට අප බලධාරින්ගේ ප්‍රමුඛ වගකීමක් බවට පත්කර ගන්නේ නම් අනාගත මහා ජාතික ව්‍යසනයක් නවත්වා ගැනීමට හැකිවනු ඇත. මේ පිළිබඳව රටේ සමස්ථ ජනතාවගේ සහ බලධාරීන්ගේ අවධානය යොමු වනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.
මිනිසා මුලු මහත් ඉතිහාසය පුරාම තමන්ට එල්ල වූ අභියෝග ජය ගනිමින් ගමන් කළ බවත් එල්ල වූ සෑම අභියෝගයක් හමුවේම වෙනස් වෙමින් අත්හදා බලමින් නව දේ සොයා ගනිමින් පරිනාමය වූ බවත් අපි දනිමු. ඉතින් අපට මෙම අභියෝගය මිනිසුන් ලෙස එක්ව ජයගත හැක.
මෙයට විශ්වාසී –
ප්‍රදීප් පනාගොඩ – කැඳවුම්කරු ප්‍රතිශක්ති පවුර
බාහිර සංවිධාන සම්බන්ධීකරණ ලේකම් / පරපුරක බලය
මහාචාර්ය ටියුඩර් වීරසිංහ- ජනමාධ්‍ය අංශය කොළඹ විශ්ව විද්‍යාලය
උදය සිරිවර්ධන – ආයුර්වේද වෛද්‍ය
ජනතා අයිතීන් සුරැකීමේ පෙරමුණ
සුසන්ත හේරත් – විධායක නිලධාරී
මහාචාර්ය ඩබ්ලිව් ඒ විජයරත්න
ආචාර්ය පියවි විජේවර්ධන – පර්යේෂණ විශේෂඥ
එම් සී විජේවික්‍රම – කථිකාචාර්යනි
ලැසිල් ද සිල්වා – හිටපු පාර්ලිමේන්තු පරිපාලන නිලධාරී ,
බරපතල වංචා හා දූෂණ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු ලේකම්
චමින්ද ජයරාජ් – කාර්මික ඉංජිනේරු
නිශාන්ත විතානගේ – කාර්මික ඉංජිනේරු
නිරුක්ෂ කුමාර – කැඳවුම්කරු
කුඩා කර්මාන්ත කරුවන්ගේ සංගමය
ලක්මාල් ධර්මරත්න – සැලසුම් ශිල්පී