මැතිවරණ කොමිසමට එරෙහිව පරපුරක බලය මානව හිමි කම් කොමිසමට

පක්ෂ ලියාපදිංචියේදී නීතිවිරෝධි ලෙසත් අයුක්ති සහගත ලෙසත් මැතිවරණ කොමිසම ක්‍රියාකළ බවට පරපුරක බලය විසින් ශ්‍රී ලංකා මානව  හිමිකම් කොමිසමට අද 2020 නොවැම්බර් 12 ) පැමිණිල්ලක් භාරදෙන ලදි. ඊයේ දින එනම් 2020 නොවැම්බර් 11 වෙනි දින එම පැමිණිල්ල ඊ මේල් මගින් යවන ලද අතර අද දින පරපුරක බලය ලේකම් චාමර නාකන්දල මහතා එහි මුද්‍රිත පිටපතක් අතින් භාර දීමට මානව හිමිකම් කොමිසමට යන ලදි. පවතින කොවිඩ් 19 වසංගතය හේතුකොට ගෙන එම පැමිණිල්ල පැමිණිලි පෙට්ටියට බහාලන ලදී. 

පරපුරක බලය විසින් පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි වීම සඳහා මැතිවරණ කොමිසමට අයඳුම්පතක් භාරදුන්නේ 2020 පෙවරවාරි 17 වෙනිදාය. අයඳුම්පත් 153ක් අතරින් පළමු සම්මුඛ පරීක්ෂණය සඳහා අයදුම්පත් 121 ක් තෝරාගත් මැතිවරණ කොමිසම පක්ෂ 32ක් සම්මුඛ පරීක්ෂණයට් නොගෙනම ඉවත හෙලීය.

පළමු සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී වූ පක්ෂ 121ක් අතරින් පක්ෂ විසි ගණනක් දෙවන සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවනු ලැබීය. එයින් පක්ෂ 8ක් තුන්වන නැතහොත් අවසාන සම්මුඛ පරීක්ෂණයට කැඳවන ලදී.අවසාන සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලැබූ පක්ෂ 8න් 6ක් පිළිගත් දේශපාලන පක්ෂ ලෙස පිළිගත් මැතිවරණ කොමිසම ඉන් 2ක් ඉවත හෙලීය. පරපුරක බලය අයත් වන්නේ එම අවසාන සම්මුඛ පරීක්ෂණයෙන් ඉවත හෙලූ පක්ෂ දෙකින් එකකටය.

මේ පිළිබඳව කරන ලද විමසීම් සහ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමඟ පරපුරක බලය විසින් කරන ලද සාකච්ඡාවලදී පැහැදිලිවම අකටයුත්තක් සිදු වී ඇති බව තහවුරු කර ගන්නා ලදී. එම නිසා ඒ පිළිබඳව සාකච්ඡාවක් මැතිවරණ කොමිසම සමඟ සිදුකරන ලද අතර එහිදී මැතිවරණ කොමිසම දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදු වූ බරපතල මගහැරීම් පිළිබඳව හෙළි කර ගැනීමට පරපුරක බලය නියෝජිත කණ්ඩායමට හැකි විය.නමුත් මේ පිළිබඳව මැතිවරණ කොමිසමේ ස්ථාවරය වෙනස් නොවූ අතර මෙම අසාධාරණ සහ අයුක්ති සහගත ක්‍රියාවලියට එරෙහිව ඉදිරියට දිගටම කටයුතු කිරීමට පරපුරක බලය විධායක සභාව සහ මධ්‍යම කාරක සභාව තීරණය කරන ලදී. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන්නේ එම ක්‍රියාවලියේ පළමු පියවර ලෙසය.