මබ්විම පුවත්පත පළ කළ සාවද්‍ය පුවත සම්බන්ධයෙන් එම පුවත්පත පරපුරක බලයට කණගාටුව පළ කරයි.

පරපුරක බලය ඉලක්ක කර ගනිමින් මව්බිම පුවත්පත විසින් 2020 නොවැම්බර් 15 වන දින පළ කරන ලද සම්පූර්ණයෙන්ම සාවාද්‍ය පුවතක් සම්බන්ධව මව්බිම පුවත්පත කණගාටුව ප්‍රකාශ කරමින් මෙම නිවැරදි කිරීම සිදුකර ඇත.

මැතිවරණ කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව එම මව්බිම පුවත සකස් වී ඇති අතර ඒ තුළින් පරපුරක බලය කීර්තිනාමයට හානිකර වීම හේතුකොටගෙන පරපුරක බලය මහ ලේකම් චාමර නාකන්දල මහතා 2020 නොවැම්බර් 26 දින පුවත්පත් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදි..
ඒ අනුව පුවත්පත් කොමිසම විසින් පැමිණිල්ල විභාග කරන ලද අතර එහිදී අදාල පුවත නිවැරදි කිරීමට මව්බිම පුවත්පත එකඟ විය.
එම නිවැරදි කිරීම 2021 ජුලි 8 වන දින එනම් අද මව්බිම පුවත්පත විසින් සිදුකරන ලදී.

පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස පිළිගැනීම සඳහා පරපුරක බලය විසින් මැතිවරණ කොමිසම වෙත අයදුම් පත්‍රයක් බාරදුන්නේ 2020 පෙබරවාරී 17 වෙනිදාය. එහිදි සම්මුඛ පරික්ෂණ දෙකක් හරහා පක්ෂ 8ක් තෝරා ගත් අතර එම පක්ෂ අටට පරපුරක බලයද ඇතුළත් විය.එම පක්ෂ 8 සඳහා වැඩිදුරටත් කරුණු විමසීමට සාකච්ඡාවක් කැඳවන ලදී. එම සාකච්ඡාවෙන් පසු පක්ෂ 6ක් ලියාපදිංචි කළ බව මැතිවරණ කොමිසම ප්‍රසිද්ධ කරන ලදි. පරපුරක බලය එම පිළිගත් දේශපාලන පක්ෂ 6ට ඇතුළත් නොවීය. මේ ක්‍රියාවලිය නැවත සලකා බැලීම සඳහා ඉල්ලිම් කරමින් පරපුරක බලය විසින් ලිපි දෙකක් මැතිවරණ කොමිසමට යොමු කළ අතර එයට ප්‍රතිචාර වශයෙන් මැතිවරණ කොමිසම විසින් නැවත සාකච්ඡාවක් ලබාදෙන ලදී. යළි සළකා බැලීම ප්‍රතික්ශේප කරමින් මැතිවරණ කොමිසම ලිපියක් එවන ලද්දේ ඉන් අනතුරුවය. මේ සම්බන්ධව පරපුරක බලය 2020 නොවැම්බර් 12 වන දින මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්ද ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලදි.

මෙම කටයුතු ඉදිරියට යමින් පවතිද්දි අදාල මව්බිම පුවත්පතේ මෙම පුවත පළවිය. එහි පැහැදිලිවම සඳහන් වූයේ මැතිවරණ කොමිසම් සභා කාර්යාල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළ බවයි. අවසාන මොහොතේ පරපුරක බලයට මැතිවරණ කොමිසමේ ලියාපදිංචිය වැළැක්වීමට කටයුතු කළේද එම වැරදි පුවත මව්බිමට ලබාදුන් පුද්ගලයා හෝ කීප දෙනා ද යන්න ප්‍රශ්නාර්ථයක්ව පවතී.

ඒ කෙසේ වෙතත් වැරැද්ද නිවැරදි කිරීම සම්බන්ධයෙන් අප මව්බිම පුවත්පටටත්, අදාල මාධ්‍යවේදියාටත් එම කටයුත්ත මෙහෙය වූ පුවත් පත් කොමිසමටත්, එහි නිලධාරීන්ටත් පරපුරක බලය ස්තූතිය පළකරන්නෙමු.

ඉදිරියටත් අප ඉතාම සාධාරණ, නීතිගරුක දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපගේ දේශපාලන කටයුතු ඉදිරියට ගෙනයන අතර මෙම අශිෂ්ඨ දේශපාලන සංස්කෘතිය නිමා කර නව ශිෂ්ඨ දේශපාලන සංස්කෘතියක් සහ ක්‍රමයක් රට තුළ ස්ථාපිත කිරීම සඳහා කටයුතු කරන්නෙමු. අප විසින් රටට යෝජනා කරන ශිෂ්ඨ දේශපාලන සංස්කෘතිය අපගේ භාවිතය ලෙස පවත්වාගෙන යමින් රටට ආදර්ශයක් දීමට කටයුතු කරන්නෙමු.
මාතෘ භූමියට ජය වේවා !