2024 ජනාධිපතිවරණය – අපගේ ස්ථාවරය

2024 ජනාධිපතිවරණය – අපගේ ස්ථාවරය

2015 සිට අඛණ්ඩව දේශපාලනයේ නිරතවෙන දේශපාලන ව්‍යාපාරයක් ලෙස සහ ප්‍රතිපත්තිමය දේශපාලනයක නිරතවෙන දේශපාලන පක්ෂයක් ලෙස මෙම මැතිවරණය දෙස අප ඉතා අවධානෙයෙන් බලා සිටින්නෙමු.

1948 දේශපාලන කඳවුර පැරදවිය හැකි නව කඳවුරක් ගොඩනැගීම සඳහා අප ඉලක්ක ගත වීමු. ප්‍රායෝගිකවාදය මත මධ්‍යස්ථ දේශපාලන මතවාදයක් අපගේ මතවාදය කරගත්තෙමු. විද්‍යාත්මකව ගොඩනගන ලද ජාතික ප්‍රතිපත්ති මාලාවක් ගොඩනැගීම සඳහා අප ප්‍රවේශයක් ලබාගෙන ඇත. ප්‍රතිවාදීන්ගේ දේශපාලන ක්‍රමය තරයේ ප්‍රතික්ෂේප කරන නමුත්, ඔවුන්ගේ දේශපාලන අයිතිය පිළිගනිමින්ද, අපට යම් සමගාමී බවක් පෙන්වන නමුත් විශ්වාසනීය එකතුවීමක් නොමැති දේශපාලන ව්‍යාපාර විවේචනය නොකර නොගැටී සිටීමට ප්‍රවේසම් වෙමින්ද, අපත් සමඟ නොමැති සියල්ලන් හතුරන් නොවන බව පිළිගනිමින්ද අප අපගේ ආචාරධාර්මික බව රැකගෙන දේශපාලන කරන්නෙමු.

ඒ අනුව මෙම 2024 ජනාධිපතිවරණයට පිවිසි අපේක්ෂයක් 39දෙනාගෙන් කිසිවෙකුට සහයෝගය නොදීමට තීරනය කළෙමු. අප, සමාජයට යෝජනා කරන දෙයට වග කියන වග වෙන දේශපාලන ව්‍යාපාරයක් ලෙස මෙම අපේක්ෂකයන්ගෙන් කිසිවෙකු පිළිබඳව වගකීමට හෝ වගවීමට නොහැක. ඒ සඳහා බලපෑ පොදු කරුණු අතරින් කීපයක් පහත සඳහන් කරන්නෙමු.

01 – ඉතිහාසයේ කිසිඳු දේශපාලන ක්‍රියාකාරකමක් නොදැක්වූ අපේක්ෂකයන්

02 – 1948 දේශපාලන කඳවුරට අයිති පක්ෂවල අපේක්ෂකයන්

03 – ජනාධිපතිවරණයට පමණක් සහභාගීවන අපේක්ෂකයන්

04 – රටේ ගැටළු, අර්බුදවලදි සහ සාමාන්‍යයෙන් දේශපාලන කටයුතුවලදි ක්‍රියාකාරී නොවන දේශපාලන පක්ෂ ඉදිරිපත් කළ අපේක්ෂකයන්

05 – අන්තවාදී දේශපාලන ආක්‍රමණශීලීත්වයෙන් කටයුතු කරන දේශපාලන සංස්කෘතියක් සහිතව තම අනුගාමිකයන්, පාක්ෂිකයන්, ආධාරකරුවන් හසුරවන දේශපාලන පක්ෂවල අපේක්ෂකයන්

06 – පොදු අනන්‍යතා සොරාගෙන, වෙනත් දේශපාලන පක්ෂවල සහ කණ්ඩායම්වල ප්‍රචාරක නිර්මාණ සොරාගෙන තමන්ගේ ලෙස ඉදිරිපත් කරන අපේක්ෂයන්

07 – දේශපාලන වේදිකාවේ තමන් ඉදිරිපත් කරන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඔවුන්ම කරන ප්‍රකාශනවල පරස්පරතා ඇති අපේක්ෂකයන් ( අපේක්ෂකයා හෝ ඔහුගේ ප්‍රධාන ක්‍රියාකාරීන් )

08 – කාලයෙන් කාලයට දූෂිත දේශපාලකයන් බලයට ගෙන ඒම සඳහා ක්‍රියා කළ පක්ෂ සහ අපේක්ෂකයන්.

කෙසේ නමුත් මෙතෙක් රට පාලනය කළ, රට විනාශයට පත් කළ දේශපාලකයන් සහ එම දේශපාලන පක්ෂවලට අයිති අපේක්ෂකයන්ද, කාලයෙන් කාලයට දුෂිත දේශපාලකයන් වෙනුවෙන් පක්ෂ සහ අපේක්ෂකයන්ද මුලින්ම ඔබගේ මනාපයෙන් ඉවත් කිරීමට සලකා බලන ලෙස අප ඉල්ලා සිටිමු.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක් වන අප ඔබෙන් ඉල්ලා සිටින්නේ ඔබේ ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රටක් උදෙසා වැදගත් වන බවයි. නමුත් ඉහත අප දැක්වූ කරුණු මත කිසිම අපේක්ෂකයෙක් යෝජනා නොකරන්නෙමු.

එළබෙන 21 වෙනිදායින් පසු බලයට පත්වෙන ඕනෑම පුද්ගලයෙකුගෙන් ප්‍රජාත්‍රන්තවාදය, යුක්තිය, නිදහස, අයිතිය දිනා ගැනීම උදෙසා අප අපගේ දේශපාලනය ගෙන යන්නෙමු. ඒ සඳහා පුළුල් බහුජන දේශපාලන පෙරමුණක් ගොඩ නැගීම වෙනුවෙන් කටයුතු කරන්නෙමු.

මාතෘ භූමියට ජය වේවා !
පරපුරක බලය