වෙනස් වෙන වෙනස් කරන අවුරුද්දක් වේවා !

වෙනස් වෙන වෙනස් කරන අවුරුද්දක් වේවා !

තවත් වසරක් පැමිණ තිබේ. මුලින්ම අපි ඔබටත් රටටත් සුභ අලුත් අවුරුද්දක් පතන්නෙමු. නමුත් සුභ පැතුම්වලින් පමණක් අනාගතය සුභ වේ යැයි අප විශ්වාස නොකරන්නෙමු.

2022 අභියෝගාත්මකම වසරක්

2022 වසරට අප පිය නගන්නේ අභියෝග රැසක් මතිනි. කොවීඩ් 19 වසංගත තවමත් පැතිරෙමින් පවති. අපේ නිවෙස්වල අම්මා, බිරිද සහ සොයුරිය කුමන මොහොතක හෝ පිපිරිය හැකි ගෑස් බෝම්බයක් සමඟ අප වෙනුවෙන් ආහාර සකසමින් සිටිති. දිනෙන් දින ඉහළ යන බඩු මිල, පොහොර අර්බුදය හේතුවෙන් අඩු වූ අස්වැන්න නිසා ඇතිවෙමින් තිබෙන ආහාර හිඟය සහ ඩොලර් අර්බුදය ඇතුළු දහසක් ගැටළු මැදින් අප 2022 ගමන් කළ යුතු වනු ඇත.

නායකත්වයක් නැති රටක්

ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙලක් නැතුවා මෙන්ම ආණ්ඩුවේ අසාර්ථකත්වය මතින් බලයට ඒමට සිහින මවමින් සිටින විපක්ෂයටද පැහැදිලි වැඩපිළිවෙලක් නැත. බලය කාට මාරු වුවද අලුත් රටක් ගොඩනැගෙන්නේ නැත.

අපේ නායකයා අපිම වෙමු!

මේ සියලු අර්බුද විසින් ඔබට යෝජනා කෙරෙන දෙයක් ඇත. එනම් මෙ සියල්ල ජයග්‍රහණය කිරීම සඳහා අපිම මැදිහත් විය යුතු බවයි. තව දුරටත් සමාජ ජාලා හී විරෝධතාවය කොටා දැමීමෙන් පමණක් මේ අර්බුද අපට ජයගත නොහැක. මේ වසර සුභ වන්නට නම් අපේ ප්‍රවේශය පමණක් අප විශ්වාස කළ යුතුය.

වෙනස් වෙමු වෙනස් කරමු.

එළබුන 2022 වසරත්, සමස්ථ අනාගතයක් වෙනස් කිරීම සඳහා මුලින්ම අප වෙනස් වෙමු යැයි අප ඔබට යෝජනා කරන්නෙමු. සිහින බලාපොරොත්තු වෙනුවට ඉලක්ක සාදා ඒ සඳහා ගමන් කිරීමට අප ඔබට යෝජනා කරන්නෙමු. හුදු විරෝධතාවලින් ඔබ්බට අභිමානවත් පුරවැසියන්ගේ දියුණු සමාජයක් නිර්මානය කරගත හැක්කේ එවිටය.

2022 වසර නියත ලෙසම අභියෝග ජය ගන්නා වසරක් ලෙස අවසන් කිරීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා යැයි අප ඔබට ප්‍රාර්ථනා කරන්නෙමු.
වෙනස් වී වෙනස් වෙමු !

තවත් පරපුරකට මේ දුකට ඉඩ නොතියමු !
රට වෙනස් කරන පරපුර අපම වෙමු !
ජන වේවා !
චාමර නාකන්දල – මහ ලේකම්
පරපුරක බලය